Monday, February 6, 2012



මීට අවුරුදු 27කට විතර කලින් අපේ ආත්තම්මා ඇහැලේපොල කුමාරිහාමිට අයිතිවෙලා තිබුනා කියන මාතලේ මඩවල පැත්තේ වලව්වක් සල්ලි වලට ගත්ත දවස වෙන්න ඕන මගේ ජීවිතේ කනකොකා හඩලන්න පටන් ගත්ත දවස.

ඒත් ඒ වෙද්දී මම ඉපදිලාත් නෑ.අපේ අම්මට මාව හම්බ වෙන්න ඉදිද්දිලු ආත්තම්මා ඔය වලව්ව අපේ මාමාගේ නමට ලියන්න හැදුවේ.අම්මලා පුතාලාට ටිකක් වැඩිපුර ආදරේ හින්දා වෙන්න ඇති දුවට නැතුව පුතාගේ නමට වලව්ව ලියන්න හැඩුවේ.ඒත් ඉඩම් තණ්හාවෙන් හිදපු අපේ අප්පච්චි ඒ ගැන බහින් බස් වෙලා පටන් ගත්ත රණ්ඩුව දුර දිග ගිහින්ලු අපේ අම්මාවයි ඉපදෙන්න ඉදපු මාවයි දාලා යන්න ගියේ.තිබුන වාසනාකවකට නීතියෙන් වෙන් වෙද්දි දීපු තීරණය නිසා අප්පච්චිට එයාගේ වාසගම මට දෙන්න උනාලු.ඒ වගේම උප්පැන්න සහතිකේ පියා විදිහට නම දෙන්නත් කැමති උනාලු.ඒත් අවාසනාවකට ඒ වලව්වත් ආත්තම්මා කාටවත්ම ලියලා දීලත් නෑ ඒ සිද්ධියෙන් පස්සේ.

මම කවදාවත් අප්පච්චි දැකලා තිබුනෙත් නෑ මට දකින්න උවමනාවක් තිබුනෙත් නෑ,මම අම්මගෙන් අද වෙනකන් අප්පච්චි ඉන්නේ කොහෙද දැන් කරන්නේ මොනවද වත් අහල නෑ.ඒ තරමට මම ඒ අප්පච්චිට වෛර කරා. ඒකට මට සාදාරණ හේතුත් තිබුනා.උප්පැන්න සහතිකේට නම දුන්නට අප්පච්චි කෙනෙක් වෙන්න බෑ කියලා ඒ මනුස්සයාට එදා හිතෙන්න නැතුව ඇති.පොඩි කාලේ මාව හැමදාම ඉස්කෝලේ එක්කන් ගියේ අම්මා.මම බලාගෙන ඉදලා තියෙනවා අනිත් ළමයි එයාලගේ අප්පච්චිලාගේ අතේ එල්ලිලා ඉස්කෝලේ එන හැටිත් ඉස්කෝලේ ඇරිලා යන හැටිත්.ඒත් මාව එක්කන් යන්නත් එක්කන් එන්නත් ආවේ අම්මා විතරයි.දෙමාපිය රැස්වීමට ආවෙත් අම්මා.පාසල් සතියට ඉස්කෝලේ පවිත්‍ර කරන්න අප්පච්චිලාට එන්න කියන්න කියල ඉස්කෝලෙදි මිස්ලා කිව්වට හැමදාම මම වෙනුවෙන් ආවේ අම්මා.ඒ හින්දාම මට ඉස්කෝලේ ළමයි අප්පච්චි නැති ළමයා කියලා හිනා උනා.

මහනුවර ප්‍රසිද්දම බාලිකා පාසලක් උන නිසා අපේ ඉස්කෝලේ හිටීයෙ ලොකු ලොකු පවුල් වලින් ආපු ළමයි.එයාලා මාව කොන් කරා අප්පච්චි නැති ළමයෙක් කියලා.ඒත් අනිත් අයට වගේම මටත් හොද යාලුවෝ 3දෙනෙක් හිටියා ඒ නිරාෂායි, දර්ශියි, සුමේරායි. සුමේරා මුස්ලිම්. කවුරුහරි මට 'අප්පච්චි නැති ළමයා'කිව්වම මටත් වඩා තරහා ගියේ සුමේරාට.එහෙම කියනවා ඇහුන ගමන් සුමේරා කියපු කෙනා කවුරු උනත් ඒ ගෑණු ළමයට ගිහින් බැන්නා.

මම 9වසරේ විතර ඉදිද්දි අපේ ආත්තම්මා අපේ අම්මව දෙවැනි සැරෙට කසාද බන්දලා දීපු දවසේ එයාලට වඩා සතුටු උනේ මම.ඒ මට ආපහු අප්පච්ච් කෙනෙක් ලැබුන නිසා අඩුගානේ දැන්වත් මට "අප්පච්චි නැති කෙල්ල" කියන එක නැති වෙයි කියලා හිතලා.ඒත් සිද්ධ උනේ ඒකේ අනිත් පැත්ත.ළමයි මට වැඩිපුර හිනා වෙන්න විහිළු කරන්න ගත්තා "ශංකිනිට පස්සේ හම්බ වුන අය්යා කෙනෙකුයි ලොකු වෙලා ඉපදුන මල්ලි කෙනෙකුයි ඉන්නවා කියලා".මේ කතා ඔක්කෝම ඇහෙද්දී මට අප්පච්චි ගැන වෛරයක් ඇතිවෙන එක සාදාරණයි කියලා මම හිතනවා. "ඔය මනුස්සයා හම්බ උනොත් මම මරණවා මරණවාමයි" කියලා මම හිතාගෙන හිටියා.ඔය ඔක්කොම දේවල් අස්සෙත් උසස් පෙළ ලියලා මම පේරාදෙණිය වෛද්‍යයට තේරුනහම මටත් වඩා සතුටු උනේ මගේ කුඩප්පච්චි.

කුඩප්පච්චිට හැමදාම ඕන උනේ මම හොදට ඉගෙන ගන්නවා දකින්න.එදා අපේ අයියාට ඇඩුනා.මම ඒ අපේ අයියා අඩනවා දැක්කමයි.මට මතකයි ඉස්සර මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිලා "අනේ අම්මේ මට ආපහු ඉස්කෝලේ යන්න බෑ ළමයි මට අප්පච්චි නැති කෙල්ල කියනවා"කියලා අඩද්දි අයියා ලගට ඇවිත් "මොනවා කරන්නද නංගි ඕක කියන්නේ කොල්ලෙක් නම් මට ඌගේ දත් ටික කඩලා අතෙ පයේ හිරිවත් ඇර ගන්න තිබුනා ඒත් මට කෙල්ලෝන්ට අත උස්සන්න බෑනේ" කිව්වා.

වෛද්‍ය විද්‍යාලයට යද්දී මම හිතුවා ළමයි මට මෙහේදි "අප්පච්චි නැති කෙල්ල"කියන එකක් නෑ කියලා. වාසනාවකට කවුරුවත් මට එහෙම කිව්වේ නැති උනාට වෛද්‍ය විද්‍යාලයේදී අපේ senior batch එකේ අයියා කෙනෙක් මට විවාහ යෝජනාවක් ගෙනල්ලා පස්සේ එයාම ඒක ඉල්ලා අස් කර ගත්තා අපේ අම්මා දෙවනි සැරෙට කසාද බැදපු කෙනෙක් නිසා එයාලගේ ගෙදරින් කැමති නෑ කියලා.ආපහු වතාවක් මට මගේ අප්පච්චි මරන්න තරහක් ආවා. හිතේ තියන වෛරය දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නෑ.

දැන් වෛද්‍ය විද්‍යාලයෙන් OUT වෙලා මම සීමාවාසික වෛද්‍යවරියක් විදිහට මහනුවර මහා රෝහලේ සේවය කරනවා.ඉස්සර මට හිනාවුන, මට විහිළු කරපු අය දැන් මගේත් එක්ක හොඳට හිනා වෙලා කතා කරනවා එයාලගේ පවුලේ කෙනෙක් ලෙඩ උනාම මට කරලා උදව් ඉල්ලනවා.ඒ කිසි කෙනෙක් ගැන මගේ හිතේ පොඩීවත් තරහක් නෑ ඒ නිසා පුළුවන් විදිහට ඒ ඔක්කෝටම උදව් කරන්නේ මම හරි කැමැත්තෙන්.ඒ ඔක්කොමත් හරි ඉදලා ඉදලා ගෙදර ගියහම අපේ ආත්තම්මගෙන් පුදුම වදයක් තියෙන්නේ එයාගේ අර මූසල වලව්ව මගේ නමට ලියවන්න එයත් එක්ක lawyer කෙනෙක් ගාවට යන්න එන්න කියලා. ඒ මූසල වලව්ව මට එපා කියලා මට කියා ගන්න බෑ ආත්තම්මගේ හිත රිදෙන නිසා. බැරිම තැන ගිය සදුදා උදේ වාට්ටුවේ Sir ගෙන් පොඩි නිවාඩුවක් ඉල්ලගෙන ආත්තම්මා එක්ක ගිහින් එයාගේ හිත සතුටු කරන්න ඒ මුසල වලව්වේ අයිතියත් බෑග් එකේ දාගෙන මම ආපහු වාට්ටුවට ගියා.

ආපු ගමන්ම නර්ස් කෙනෙක් ඇවිත් "ඩොක්ටර් surgical ward එකෙ ඉදලා අපේ ward එකට මාරු කරලා එවපු patient කෙනෙක් ඉන්නවා ischemic type එකේ chest pain එකක් ආපු. ඩොක්ටර් ප්‍රදීප් කියන්න කිව්ව ඩොක්ටර්ට පොඩ්ඩක් ඒ patientව බලන්න කියල්ල" කිව්වා.ළගට ගිහින් විස්තර අහද්දි මාව වෙව්ලලා ගියා මේ මගේ අප්පච්චි. මරන්න තරම් තරහක් හිතේ තිබුනත් කොහොම මරන්නද Hippocratic Oath( වෛද්‍ය දිවුරුම් දීම ) දීපු මගේ රස්සාව ලෙඩ්ඩු සනීප කරන එක. ඒත් මම නිකමටවත් කියන්න ගියේ නෑ මම එයාගේම දුව කියලා.ගෙදර ගිහින් අම්මට කිව්වෙත් නෑ මේ කාලකණ්නි මනුස්සයා ගැන.අම්මට කියන එක අපරාදේ කියල මට හිතුනා.

අද අප්පච්චිව discharge කරා,යන්න ලේස්ති වෙලා අප්පච්චි එයාගේ බිරිදයි මගේ ළගටත් ඇවිත් අනිත් දොස්තරලාට වැන්දා වගේම මටත් වැදලා යන ගමන් "මටත් දුවගේ වයසේම විතර දුවෙක් ඉන්නවා,ඒ දුවත් දොස්තර කෙනෙක්ලු ඒත් මම එයාගේ නම දන්නේ නෑ ඒ දරුවටයි එයාගේ අම්මාටයි කරපු දේවල් වලට තමා මම අද මේ විදවන්නේ. ඒ පව් නම් කවදාවත් මට ගෙවලා ඉවර කර ගන්න බැරි වෙයි" කියලා ගියා. (කියන්න සතුටුයි පාඨකයිනි,අප්පච්චිව මරන්න තරම් තරහක් හිතේ තියන් හිටපු මට අද ඊට වඩා සතුටක් දැනෙනවා ඒ මනුස්සයාව සුවපත් කරවලා. ඒත් තවමත් අර මූසල වලව්වේ අයිතිය මගේ බෑග් එකේ)

ඔයාලට මොකද හිතෙන්නේ මේක කියෙවුවම...නිදහසේ හිතුන ඕනම දෙයක් ලියල යන්න

1 comment:

  1. 5 Best Vip Pins In 2021 - Video Dodl!
    5 Best Vip Pins In 2021 #5 Best Vip Pins In 2021 #5 youtube to mp4 Best Vip Pins In 2021 #5 Best Vip Pins In 2021 #5 Best Vip Pins In 2021 #5 Best Vip Pins In 2021 #5 #5 Best Vip Pins In 2021 #5 #5 Best Vip Pins In 2021 #5 Best Vip Pins In 2021 #5 Best Vip Pins In 2021 #5 #5 Best Vip Pins In 2021

    ReplyDelete