Saturday, February 18, 2012

ගුවනේ රැකියාව

දවසක් ඉතින් ඔය මගුල් යෝජනා පිටුව පෙරල පෙරල ඉන්න කොට වයසත් පැහුන ගෑණු ළමයෙක් හිතට වදින මංගල යෝජනාවක් දකිනවා. ඒකේ විස්තරේ තියෙන්නේ මෙන්න මේ විදිහට....

"උසස් තැනක රැකියාව ඇති, පියාගේ අඩි පාරේ යමින් ඔහු යටතේ උසස් රැකියාවක නියුතු මා ගුවනේ සිට සිරි නැරඹීම විනෝදාංශය වශයෙන් කරමි. මා සොයන්නේ රූමත්, පැහැපත්, ගුණ යහපත්, විනීත ගැහැණු ළමයෙකි. කේන්දර අනවශ්‍යයි. තමාම ලියන්න නොම්මර 35, ගුවන් හමුදා මාවත, කටුනායක.

ඉතින් මේක කියවලා ගෑණු ළමයත් "ෂා දාලා තියන විස්තරේ හැටියට මේ එයාෆෝස් පයිලට් කෙනෙක් තමා" කියලා පරක්කු වෙන්නේ නැතුව මේකට රිප්ලයි එකක් දානවා. ඉතින් ඔන්න ටික දවසකින් කොල්ලාත් රිප්ලයි කරලා වැඩේ දැන් නැගලා යනවා. කොල්ලා ෆෝන් කර කර මල් කඩන තරමටම වැඩේ සීරියස් විදිහට නැගලා යනවා. ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට කෙල්ල කොල්ලට කියනවා...

"අනේ මම ඔයා ගැන අපේ තාත්තාටත් කිව්වා. තාත්තා කිව්වා ඔයාට මේ ඉරිදාට අපේ ගෙදර එන්න කියන්න කියලා".

ඔන්න ඉතින් ඉරිදා දවසේ කොල්ලාත් හා හා පුරා කියලා කෙල්ලගේ ගෙදරට යනවා මොකද මාමණ්ඩි එන්න කියපු නිසා. දැන් කතාව මේ විදිහට කෙරීගෙන යනවා...

"අපිට හරිම සන්තෝසයි පුතා වගේ ගොඩක් ඉහල රස්සාවක් කරන වැදගත් ළමයෙක් අපේ දුවට ලැබුන එකට. පුතා එතකොට ගුවන් හමුදා කදවුර ඇතුලේද වැඩ කරන්නේ?" මාමණ්ඩි අහනවා.

"කදවුරෙත් වැඩ කරනවා ඒ වගේම ගොඩක් වෙලාවට එළියෙත් වැඩ කරන්න වෙනවා මාමේ, දන්නවානේ ඉතින් අපේ රස්සාවේ හැටිනේ" කොල්ලාත් කියනවා.

"එතකොට උඩට ගිය වෙලාවට මොකද කරන්නේ?" මාමණ්ඩිත් අහනවා

"ගොඩාක් වෙලාවට විස්සක් තිහක් බිමට අත ඇරලා තමයි ආපහු බහින්නේ" කොල්ලාත් කියනවා.

"ආ විස්සක් තිහක් දානවාද?" මාමණ්ඩිත් අහනවා.

"දවසට සීය හමාර දාන වෙලාවළුත් තියනවා..." කොල්ලාත් අරින්නේ නෑ.

"ඈහ්, හැබෑද, ඔක්කොම ඉලක්කෙටම වැටෙනවාද? ඔය එකක් බර ගානක් වෙනවා නේද?"

"නෑ සමහර වෙලාවට කාණුවලටත් වැටෙන වෙලාවල් තියෙනවා.... එකක් රුපියල් විස්සක් විතරනේ වෙන්නේ...! කාණුවලට වැටුනම ඉතින් පොඩ්ඩක් හෝදලා කරලා ගන්නවා..."

"ඈහ් හෝදලා ගන්නවා, බෝම්බ? එකක් රුපියල් විස්සයි?" මාමණ්ඩි ෆුල් අඤ්ඤකොරොස් වෙලා අහනවා.

ඔන්න කොල්ලා කියනවා "බෝම්බ? මොන බෝම්බද? මම කියන්නේ මේ පොල් පොල්...."

"මොකක්, පොල්?, එතකොට තමුසේ පයිලට් කෙනෙක් නෙමෙයිද?" මාමණ්ඩි උතුර දකුණ මාරු කරගෙන අහනවා.

'පයිලට්? කවුද කිව්වේ මම පයිලට් කෙනෙක් කියලා? මම මේ කරන්නේ කුලියට පොල් කඩන එකනේ...' කොල්ලාත් කියනවා.

"එතකොට මේ පත්තරේ දැන්වීම දාලා තියෙන්නේ ගුවනේ සිට සිරි නැරඹනවා කියලා" ඔන්න දැන් කෙල්ලත් අඩන මූඩ් එකෙන් කතාව මැදට පනිනවා.

"ඔව් ඉතින් පොල් ගහකට නැග ගත්තාම පොඩ්ඩක් අවට සිරි නරඹලා තමා ආපහු පල්ලෙහාට බහින්නේ.... නැත්නම් අපරාදේනේ" කොල්ලාත් කියනවා.

"එතකොට මේ කියලා තියෙන්නේ, තාත්තා ගොඩක් උසස් රැකියාවක් කරනවැයි, තාත්තාගේ යටතේ තමයි වැඩ කරන්නේ කියලා...." මාමණ්ඩී පුටුවෙන් නැගිටින ගමන් අහනවා.

"ඉතින් බොරුද.... තාත්තා තමයි ගොඩාක් උස ගස් වලට නගින්නේ. මම නගින්නේ පැල ගස් වලට..." කොල්ලා කියාපි.

හික් හික් හික් කොහොමද දැන් හැදෙන උන්ගේ වැඩ......දාපල්ලා පුතේ බුල්ටෝ කඩේට කොමෙන්ටුවක්

(මූලාශ්‍රය: විද්‍යුත් තැපෑලෙන් )

Thursday, February 16, 2012

හායි හලෝ..ව් කෝමද ඉතින්


මේ ලිපිය ලියන්නේ ලාංකික රූපවාහිනී නාලිකාවල වල හා එෆ්.එම් නාලිකා වල සම"හරක්" වැඩසටහන් ඉදිරිපත් කිරීම්, නිවේදනය සම්බන්ධවයි. මා ලියූ වෙනත් ලිපිසේම මෙම ලිපියත් කවුරුන් විසින් හෝ උස්සා තමාගේ නමින් වෙනත් page වල පළ කර ගන්නා බව මා ඉතා හොඳින් දන්නා අතර, ලාංකික සමාජයේ හැටිද එය වන බව දනිමි.

මේ ඊයේ අවාසනාවකට මා නැරඹූ එක්තරා ලාංකික පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වීකාශනය වූ වැඩසටහනක කොටසක්.

"හායි හලෝ..ව් කෝමද ඉතින්.... ගුඩ් ඊවිනින් ඉතින් ඉතින් කොහොමද වැලන්ටයින් සෙලිබ්‍රේට් කලාද ඔයාලා? මූණේ හිනාවෙන් පේනවා ඔයාලා වැලන්ටයින් ෆන් එකේ සෙල්බ්‍රෙට් කරලා කියලා. බලන්නකෝ අනේ අද ඩැනී නෑනේ, එයා ග(ර්)ල් ෆ්‍රෙන්ඩ් එක්ක වැලන්ටයින් සෙලිබ්‍රෙට් කරන්න ගිහින්. අද මම විතරයි ඔයාලගේ ගෙදරට එන්නේ. බලන්න හරි නරකයි නේද ඩැනී හෙට ආවහාම අල්ල ගම්මු. වට් එවර් එහෙනම් අපි යමු අපේ චාට් එකේ ෆර්ට් සෝංග් එකට. මේ ගොඩාක් ගර්ල්ස් ගේ ඩ්‍රීම් ගායි ශිහාන්ගේ ලස්සන ට්‍රැක් එකක්."

ඉංග්‍රීසිත් නොවන සිංහලත් නොවන අළුත් තාලයේ සිංග්‍රීසි භාෂාවෙන් නිවේදිකාව මෙසේ කියාගෙන කියාගෙන ගියා.

අනේ මේ වර්තමාන ලාංකාවේ මාධ්‍ය සදාචාරය නොවේද? කොටට කොටේ, හිරට හිරේ, රතට රතේ ගවුම් කොටේකුත් ඇදගත්ත නිවේදිකාවක් තමන්ගේ වැඩසටහන ඉදිරිපත් කිරීමට මුවාවී තමගේ කාමුකත්වය අමු අමුවේ මිනිසුන් ඉදිරියේ විකුනනවා නොවේද?
මට මතකයි මීට ටික කලකට ඉහත මාධ්‍ය ලෝකයට ආපු දැවැන්තයන් ප්‍රේමකීර්ති සිට නිලාර් එම් කාසිම්, ඉඳුනිල්, සමිත, හේම නලීන්, කැලුම් ශ්‍රීමාල්, නිහාල් වික්‍රම, කිංස්ලි රත්නායක වගේ අය තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන මේ වනතුරුත් ක්ෂේත්‍රය තුල ඉහලින් වැජඹෙනවා. අවාසනාවකට ප්‍රේමකීර්තියන් නම් අද අපි අතර නැහැ. ඔහු හිටියා නම් නිසැකවම මේ අලුත් නංගිලා අක්කලා අයියලා මල්ලීලාට රූපවාහිනිය ගුවන්විදුලිය තුල මෙවැනි අනග රැගුන් නටමින් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඉඩ නොලැබෙනු ඇත.

මට මතකයි මීට ටික කලකට ඉහත එක්තරා පෞද්ගලික නාලිකාවක එක්තරා නිළි නිවේදිකාවක් ඉදිරිපත් කල වැඩසටහනක්. එම වැඩසටහනට සන්නස්ගලයන් පැමිණෙන අතර නිළි නිවේදිකාව කොහොමද සැප සනීප ජීවිතේ කොහොමද ඇසූ විට, සන්නස්ගලයන් "දර්ම චක්‍රය වගේ ජීවත් වෙනවා' යැයි කියනවා. අර "බෞද්ධ" නිළි නිවේදිකාවට එය නොතේරෙන අතර "හා" කියා ප්‍රතිචාර දක්වනවා. ඒ බව වටහා ගන්නා සන්නස්ගලයන් ඔහු පැවසු දෙයෙහි අර්ථය පැහැදිලි කරනවා. වැඩසටහන අවසානයේදී එම නිළි නිවේදිකාව "නැවත වරක් මේ වැඩසටහනට ආරාධනා කලහොත් එනවා නේදැයි ඇසූ විට සන්නස්ගලයන් මුනිවත රකී....

කතාව තිබූ පමණින් කෙනෙක් නිවේදකයෙක් වෙන්නෙ නැත. සමහරු සිංහල, ඉංගීසි භාෂා දෙකම මිශ්‍ර කර සිංග්‍රීසි වලින් කතා කරනවා. ඔවුන් ඒ කතා කරන විදිහට හේතු
දක්වනවා, ‘ජනතාව ඉල්ලන දේ තමයි ඒ’ කියලා. ඇත්තටම ඒක බොරුවක්. ඒ විදිහෙ දේවල් කියලා ජනතාව අවතක්සේරුවට ලක් කරන එකට එකඟ වෙන්න බෑ.
අද ජනමාධ්‍ය ලෝකයට එන බහුතරය තමන්ගෙ කාර්යය හඳුනාගෙන භාෂා පිළිබඳ දැනුමින්, අවබෝධයෙන් වගේම ඒ කරුණු ප්‍රගුණ කරපු අය නෙමෙයි. අත පය විසි කරලා ඔළුව වනලා, ඇගෙන් භාගයක් නිරාවරණය කරගෙන වැඩසටහනක් ඉදිරිපත් කරන්න පමනක් ඔවුන් දන්නවා. අඩුම තරමින් ඔවුන් තුල තමන් කියන දේ ගැනවත් වැටහීමක් නෑ.

පත පොත හොඳින් පරිශීලනය කරන්න ඕන නිවේදකයෙක් වුණහම. ජනමාධ්‍ය තුළ ඉන්න කෙනා ලෝකය සමඟ ඉදිරියට යන්න නම් දවසින් දවස සියලු තොරතුරු පිළිබඳව දැනුවත් විය යුතුයි.

එහෙම දැනුවත් වෙන්නෙ සුළු පිරිසක්. අද නාලිකාවලින් නළු නිළියන්ව, නිවේදකයෝ බවට පත්කරලා තියෙනවා. ඒකට වරදක් කියනවා නෙවෙයි. නමුත් මොන යම් ක්ෂේත්‍රයක සිටින කෙනෙක් වුණත් නිවේදන කටයුත්තක නියැළෙනවා නම් ඔහු භාෂාව පිළිබඳව මෙන්ම තමන් ඉදිරිපත් කරන දේ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුයි.

මවූ බස හොදින් හැසිරවිය නොහැකි කිසිවෙකුටත් අලුතින් යමක් නිර්මාණය කල නොහැක. ඊලගට ඔයාලාට පුළුවන් ඇගිල්ලක් දික් කරන්න ඉංග්‍රීසි නිසා තමයි මේ විනාශය උනේ කියලා... නැහැ. කවදාවත්ම එක් භාෂාවකට තවත් භාෂාවක් විනාශ කරන්න බැහැ. භාෂාවක් විනාශ විය හැක්කේ භාෂා දෙකක් මිශ්‍ර වූ විට පමණි. අද අපි අත්විදිමින් පවතින්නේ එය නොවේද?? මදකට සිතා බලන්න.....

වරක් එක්තරා එෆ්.එම් නාලිකාවක වැඩසටහනකට මහාචාර්ය නන්දදාස කෝදාගොඩයන් සහභාගී විය. නිවේදකයා "අද අපි සමග දොඩමළු වෙන්න ඇවිත් ඉන්නේ නන්දදාස කෝදාගොඩ මහාචාර්යතුමා" කිව්වාලූ.
එතකොට මහාචාර්යතුමා "අනේ මට දොඩමළු වෙන්න බෑ. පිස්සු කියලා හිතයි නේ. අපි කතා කරමු හිමීට" යැයි පැවසුවා.

එසේ නම් පාඨකයිනී මා ඔබට සිතන්නට යමක් ඉතුරු කරලා මගේ ලිපිය අවසන් කරනවා. මදක් සිතන්න අද ජනමාධ්‍ය ලෝකය මෙසේ අවරට ගිය නිවේදක නිවේදිකාවන්ගෙන් පිරී ඇත්නම් හෙට දවස කෙසේ විය හැකිද? ??

(සියලුම හිමිකම් බුල්ටෝ කඩේ කදමල්ල සතුය )
© All rights reserved by Bulto Kade Kadamalla

Thursday, February 9, 2012

(අ )මනුස්සයෝ



"1990 ජූලි 11 වෙනි දින කොකාවිල් හමුදා කදවුර ත්‍රස්තවදී ප්‍රහාරයෙන් බේරා ගැනීම උදෙසා දිවිහිමියෙන් අභීතව සටන් වැදි මේජර් පරාක්‍රම අලවත්ත හට රණශූර පදක්කම (RSP) ප්‍රදානය කරන ලදී"

සුභ සැන්දෑවක් හිතවතුනි මම හර්ෂ අතපත්තු,අද වැඩසටහන ආරම්භයෙදී මම මේ සදහන් කරේ ශ්‍රී ලංකා මාතව රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට සටන් වැදි අභීත රණවිරුවෙක් වූ මේජර් පරාක්‍රම අලවත්තයන් RSP, ලද සම්මානයට අදාල සහතිකයේ සදහන්ව තිබූ එක්තරා කොටසක්.

අපි අද මේජර් පරාක්‍රමයන් සමග කතා කරන්න මේ හෝරා භාගය වෙන් කලේ ඒ කුරිරු ත්‍රස්තවාදයේ අමිහිරි අත්දැකීම් ගැන නම් නෙමෙයි.මේ ආදරණීය පියෙකු ඔබගේ මනුශ්‍යත්වයට කතාකරන අඩහෝරාවක්. එසේ නම් මේජර් පරාක්‍රමයාණෙනි අවසරයි ඔබට........

සුභ සැන්දෑවක් හිතවතුනි මම මේජර් පරාක්‍රම අලවත්ත.මගේ උපන් ගම ගාල්ල.ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප් සතර හදාරලා දෙවන ලුතිනන් වරයෙක් විදිහට හමුදාසේවයට බැදුනා. හර්ෂ මහත්මයා සදහන් කරා වගේම කොකාවිල් හමුදා කදවුර බේරා ගැනීමේ සටනට දායක වූ මට රණශූර පදක්කම හම්බ උනා ඒත් ඒ සටනින් මගේ දකුණු පාදය අහිමි උනා.මේ සිද්ධිය වෙද්දි මම විවාහා වෙලා අවුරුද්දක් විතර වෙනවා,මගේ බිරිද අවන්තිට ඒ වෙද්දි අපේ පුතා හම්බ වෙන්න හිටියේ.පාදය අහිමි වීමත් එක්කම මම හමුදා සේවයෙන් ඉල්ලා විශ්‍රාම ගියා.

අපේ පුතාට මේ වෙද්දි වයස අවුරුදු 11ක් විතර වෙනවා හර්ෂ මහත්තයෝ.දැනට සති දෙකකට විතර උඩදී අපේ පුතා හදිස්සියේම අසනීප වෙලා රෝහල් ගත කරහම දැන ගන්න ලැබුනා පුතාගේ වකුගඩු දෙකම අක්‍රීය වෙලා ඔහුට Aනෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි කියලා.ඒ සදහා සැත්කමට රුපියල් ලක්ෂ 4කුත් අවශ්‍යයි කියලා.

හර්ෂ ! මගේ රෝගී තත්වයත් එක්ක මට මගේ පුතාට වකුගඩුවක් දෙන්න පුලුවන් කමක් නෑ.මම අද රෝද පුටුවෙන් යන ආබාධිත හමුදා නිලධාරියෙක්. රට ජාතිය බේර ගන්න සටන් කරපු මම අද මගේ පුතාගේ ජීවිතය බේර ගන්න කිසිම දෙයක් කර ගන්න නොහැකි තරමට අද අසරණයි.අවශ්‍ය කරන මුදලින් කොටසක් ජනධිපති අරමුදලෙනුත් තවත් කොටසක් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයෙනුත් දෙන්න අපිට පොරොන්දු උනා.ඒත් !අපිට අද පුතා වෙනුවෙන් නෙගටිව් වර්ගයේ වකුගඩුවකුත් තවත් මුදලින් ලක්ෂයකුත් ඕන කරලා තියනවා.පුතා වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් හොයා ගන්න අපිට තවම බැරි උනා.ඒකයි හර්ෂ ! මම අද මෙතනට ආවේ. මගේ පුතා වෙනුවෙන් හැකි උපකාරයක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න.

හොඳයි හිතවතුනි ඔබ අතරින් කවුරුවත් ඉන්නවානම් මේජර් පරාක්‍රමයන් වෙනුවෙන් ඔහුගේ පුතාට වකුගඩුවක් ප්‍රදානය කරන්න කැමති කරුණාකර මේ දුරකථන අංකයට කතා කරන්න.මම හර්ෂ, එසේ නම් හිතවතුනි අපි පොඩි ගීත විරාමයකට යනවා ගිහින් නැවතත් ඔබ සමග එක් වන අදහසින්."මීට අවුරුද්දකට පමණ පෙර විකාශනය වුන මේජර් පරාක්‍රම අලවත්ත සහභාගී වූ,මම වගේම අපේ වැලිකඩ බංධනාගාරයේ රැදවියන් බහුතරයක් ඇසූ, අසන ලද බහුතරයකගේ ඇසට කදුලු ඉනූ ගුවන් විදුලි වැඩසටහනක්.මෙය විකාශනය වන අතරතුර මෙහි සිටින මරණ දණ්ඩනයට නියම වූ රැදවියක් දෙදෙනෙක් අතර සංවාදයක් ඇතිවුනා.

"මචං සුදා උඹට ඇහුනාද ඒක. මම තීරණය කලා බං මගේ වකුගඩුවක් ඒ පොඩි එකාට ගැලපෙනවානම් දෙන්න. අපි වගේ කාලකණ්නියෙක් නෙමෙයිනේ බං ඒ.අපිට පින නැතත් බං අපේ පොඩි උන්ට ජීවත් වෙන්න රටක් හදලා දීපු මනුස්සයෙක් නේ.අනික බං අහිංසක පොඩි එකෙක්නේ බං.අපි නම් මැරෙන්න බලාගන ඉන්න අපරාදකාරයෝ අඩු ගානේ බං කරපු පව් වලින් පොඩි කොටසක් හරි ගෙවා ගන්න පුලුවන්නම් !!!.මම සුමනවීර ජේලර් මහත්තයාට කියනවා මගේ වකුගඩුව ගැලපෙනවද බලලා පරාක්‍රම මහත්තයට කෝල් එකක් දෙන්න කියලා"

පසු දින මගේ ළගට පැමිනි එම නම සදහන් කිරීමට අකමැති රැදවියා මෙසේ පැවසීය "සර් මම කැමති අර මේජර් පරාක්‍රමගේ පුතාට මගේ වකුගඩුව ගැලපෙනවානම් දෙන්න.සර්ට පුලුවන්නම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා මේජර් මහත්තයාට කියනවාද?අනිත් අය කැමති එයාලා හම්බ කරලා තියන සල්ලී වලින් ලක්ෂයක් එකතු කරලා පරාක්‍රම මහත්තයාට දෙන්න." අපි ඔහුට ගුණපාල කියමු.

ඔහු පැවසූ ආකාරයටම ඔහුගේ වකුගඩුව මේජර් පරාක්‍රමයන්ගේ පුතුට ගැලපිනි.දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින පරාක්‍රමයන්ට මම ඇමතුවෙමි.

"මහත්මයා මම වැලිකඩ බන්ධනාගාරයේ ජේලර් කෙනෙක් නම ප්‍රසන්න සුමනවීර.මහත්මයා ඊයේ සහභාගී වුන ගුවන් විදුලි වැඩසටහනට සවන් දීපු අපේ බන්ධනාගාරයේ ඉන්න මරණීය දණ්ඩනය නියම වුන සිරකරුවෙක් කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා ඔබේ පුතාට වකුගඩුවක් ප්‍රදානය කරන්න.ඒ වගේම තවත් මරණ දණ්ඩනය නියම වෙලා ඉන්න සිරකරුවෝ කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා ඔවුන් සිර ගෙදර ඉන්න කාලයේ හම්බ කල මුදල් එකතු කරලා ඔබ තුමාගේ පුතා බේර ගන්න රුපියල් ලක්ෂයක් දෙන්න.මහත්මයාට පුලුවන්නම් හෙට දවල් 11ට විතර අපේ සිර කදවුරට ඇවිත් යන්න එන්න" එසේ කියා මා රිසිවරය තැබූවා.

අමුතුම දෘශ්ටි කෝණයකින් සිරකරුවන් දෙස බැලූ අපි ඔවුන් කොතරම් සංවේදී පිරිසක් දැයි කිසිදාක සිතා නැත.මනුශ්‍යත්වය යනු මෙය නොවේද? සිරකරුවෙකු,අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසා සිටින අපේම සහෝදරයන් පිරිසකගේ අපි මෙතෙක් නොදුටු පැතිකඩ මෙය නොවේද?මෙවන් උතුම් මිනිසුන් ටිකක් සමග ගැවසීමට ලැබීමත් භාග්‍යයකැයි මට පළවෙනි වතාවට හිතුනා.

අද වන විට නම් සදහන් කිරීමට අකමැති වූ ගුණපාල ඇතුළු එම සහෝදරයන් පිරිසට පින් සිද්ද වෙන්න මේජර් පරාක්‍රමයන්ගේ පුතා නැවතත් සුවය ලබා තිබෙනවා.මේජර් පරාක්‍රම ඔහුට හැකි හැම වෙලාවකම මේ සහෝදරයන්ගේ දුක සැප බලන්න වැලිකඩට ආවා.ඒත් ඔහුට උවමනා කරේ මේ සහෝදරයන් සය දෙනාට මීට වඩා යමක් කරන්න. සිර මැදිරියට පැමිණෙන හැම අවස්ථාවකම ඔහු මා සමගත් පැවසූවේ එයයි.බොහෝ දවසක් කල්පනා කර මීට මාස 2කට පෙර මේජර් පරාක්‍රමයන් ලංකා රජයේ ජනාධිපති වෙත පෞද්ගලිකව යැවූ ලිපියට ලද පිලිතුරු ලිපිය අද ඔහු විසින් මට fax පණිවිඩයක් ආකාරයට එවා තිබුනා. එහි මෙලෙස සදහන් විය..

මේජර් පරාක්‍රම අලවත්ත,

විරුවාණෙනි

ඔබ විසින් මා වෙත එවන ලද ලිපියට පිලිතුරු එවීමට පමා වීම පිලිබදව ප්‍රථමයෙන්ම මා කනගාටුව පළ කරන අතර, ඔබ විසින් සදහන් කල කාරණා සලකා බලා (සමාවන්න පාඨකයිනී ඔවුන්ගේ නම් සදහන් කිරීමට මා මෙන්ම ඔවුන්ද අකමැතිය ) යන සිරකරුවන්ට ජනාධිපති සමාව යටතේ ඔවුන්ගේ මරණීය දණ්ඩනය ලිහිල් කර ඔවුන්ට පොදු සමාවක් දීමට තීරණය කල අතර ඔවුන් සය දෙනාගේ සිරදඬුවම වසර 20කින් අඩු කරන ලද බව දන්වා සිටීමට කැමැත්තෙමු.

මීට

(ජනාධිපතිතුමන්ගේ අත්සන හා නිල මුද්‍රාව)

සත්‍ය සිදුවීමක් ඇසුරුකොටගන ලියවින..මිනිසුන් නොමිනිසුන් වූ යුගයක නොමිනිසුන් මිනිසුන් වූ මෙවැනි කතාද අපට අසන්නට ලැබෙනවා...ඔබගේ වටිනා කොමෙන්ටුවක් අප වෙත යොමු කරන්න..එය අපට තවත් මෙවැනි කතා ඔබ වෙත ගෙන ඒමට දිරියක් වනු ඇත.

Wednesday, February 8, 2012

ආ-දරය



....තවත් එක් ආදර කතාවක් නොවේ...

ගංගානාත් දුල්ෂාන් පීරිස් ගේ "ඔබේ නෙතින් මා දකින්න" ජුනි 30 වෙනිදා කලාභවනට ඇවිත් යන්න එන්න......කලාභවනේ පිවිසුම් දොරටුව ඉදිරිපිට සුළඟට පැද්දෙමින් තිබෙන මගේ චිත්‍ර ප්‍රදර්ශනය ගැන සදහන් වන බැනරය දෙස සුළු මොහොතක් බලා සිටින විට කොතරම් කාර්‍ය බහුල දවසක් උනත් අද එය මා මගේ සුන්දර අතීතයට ගෙන යන්න සමත් වුනා.

මෙත්සලා...මට තවමත් හොඳට මතකයි ඇයව මුනගැසුන මුල්ම දවස.ඒ මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉන්න දවස්වල ආනන්ද කුමාරස්වාමි මාවතේ වැටකට හේත්තු කරලා මගේ චිත්‍ර විකුණපු දවසක්.ඒ චිත්‍ර අතර එක චිත්‍රයක් තිබුනා ඉතා අලංකාර ලෙස සරසපු කාමරයක් මැද තියලා තිබුන රෝස මල් අතුරපු ඇඳක කොනක් ගිනි ගන්න ආකාරය නිරූපණය කරපු චිත්‍රයක්.

බොහෝ දෙනෙකුට වටහා ගන්නට නොහැකි උන ඒ චිත්‍රය එන හැමෝටම විග්‍රහා කරල හෙම්බත් වෙලා හිටපු වෙලාවක තමයි මෙත්සලායි එයාගේ යාළුවෝ ටිකයි එතනට ආවේ.ඒ කෙල්ලෝ ටික අතරින් එක්කෙනෙක් "කව්ද මේ චිත්‍රය ඇන්දේ" කියල ඇහුවහම මමත් කින්ඩියට වගේ "මම.ඇයි නංගි ඔයාට මේ චිත්‍රයේ අර්ථය තේරුම් ගන්න පුලුවන්ද" කියලා ඇහුවා.මගේ දිහා උඩ ඉදලා පහළටත්, පහළ ඉදලා උඩටත් බලලා මටත් වඩා හොඳට ඒ චිත්‍රය විග්‍රහ කරපු ඇය මෙත්සලා...ඒ වන විට ඇය රාගම වෛද්‍ය විද්‍යාලයේ තුන්වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්.එදා දැන හඳුනගෙන ඇරඹුන ඇගේත් මගේත් ආදර කතාව නිදසරේ අවුරුදු 2ක් ගලාගෙන ගියා.ඇගේ තිබුන කාන්තාලාලීත්‍යයත්, සුකුමලභවත් ගොඩක් වෙලාවට මගේ චිත්‍ර වලට හේතු පාඨයක් උනා.කෙල්ලෙක් ගැන තුන් හිතකවත් අදහසක් නැතුව චිත්‍ර වලටම ආදරය කරපු radical artist කෙනෙක් විදිහට වැඩි දෙනෙක් හදුන්වපු මම මෙත්සලාගේ බාහිර සුන්දරත්වය පරයා ඉස්මතු වෙලා තිබුන අභ්‍යන්තර සුන්දරත්වය ඉදිරියේ දණ නැමුවා.

මට මතකයි ඇය හැම නිතරම මට කිව්වා "ඔයාගේ දිග කොණ්ඩෙයි, උසයි, හමේ පාටයි, රැවුල කපලා තියන style එකයි ඔයාට ගොඩක් ලස්සනට match වෙනවා" කියලා.මම හිතුවේ ගෑණු ළමයි මේ වගේ භාහිර ස්වරූපයකට අකමැති ඇති කියලා, ඒත් මෙත්සලා ඊට හාත්පසින්ම වෙනස් වුනා.ජීවිතෙ කවදාවත්ම කෙල්ලෙක්ට ආදරේ කරලා නොතිබුන මම ඇයට ආදරේ කරපු තරම ගැන අදටත් මට පුදුමයි.ඇය මගෙන් බලාපොරොත්තු වුනෙත් අසීමිත ආදරයත්, නිතර දෙවේලේ ඇය ගැන හොයලා බලන එකත් විතරමයි.අපේ ගෙදරින් ඇයට ඉහලින්ම කැමති උනත්, අපි වගේම සාමාන්‍ය පවුලක අය වුන මෙත්සලාගේ දෙමව්පියෝ කවදාවත්ම මාව දැකලා නොතිබුනත් මට අකමැති වුනේ මම කොණ්ඩේ වවා ගත්ත radical artist කෙනෙක් වුන නිසා.

එයාලට ඕන වුනේ මෙත්සලාව ඩොක්ටර් කෙනෙක්ට හරි ඉන්ජිනියර් කෙනෙකුට හරි දෙන්න. මෙත්සලාටත් එයාගේ අම්මලාගේ කීමට උඩින් යන්න පුළුවන් කමක් තිබුනේ නෑ.ඒ නිසාම මීට අවුරුදු 2කට විතර කලින් මට ඇයව අහිමි වුනා.අද වන විට ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් දිනා සිටින මම අද මගේ උපන්දිනය දවසේ චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කරේ ඒක මටත් වඩා මෙත්සලාගේ හිතේ තිබුන එ හීනය සැබෑ කරන්න.

අද පොල්තෙල් පහණ පත්තු කරේ මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ අය.ඒත් අද මෙත්සලා එතන හිටියේ නෑ.අද මෙත්සලාත් මෙතන හිටියා නම්.....

මෙත්සලා මීට අවුරුදු එකහාමාරකට විතර කලින් දොස්තර කෙනෙක් එක්ක විවාහ උනත් මේ වන විට අවාසනාවන්ත ලෙස ඒ විවාහය දෙදරා ගිහින් ඇය දැන් නීතියෙන් වෙන් වෙලා ඉන්නේ.එදා මම ඇදපු මටත් වඩා හොදට මෙත්සලා විග්‍රහා කරපු රෝස මල් අතුරපු ඇද ගිනි ගත්ත ආකාරය නිරූපනය කරපු චිත්‍රය වගේම මෙත්සලාගේ විවාහ ජීවිතයත් දවසක දෙදරලා යාවි කියලා නම් ඇයට කවමදාකවත් හිතෙන්නේ නැතුව ඇති.

ඇගේ දික්කසාදය ගැන මම දැනගෙන හිටියත් අද වෙනකන් මම ඇයට දුරකථන ඇමතුමක්වත් නොදුන්නේ හුගාක් සංවේදී කාන්තාවක් වුන ඇයගේ හිත, මගේ කටහඬ ඇහිලා ආපහු වතාවක් රිද්දන්න බැරි නිසා.ඒත් ඇගේ සුවඳ මට තාම මතකයි.ඇගේ ළග තිබුන පිච්ච මල් සුවඳට මම හැමදාම ආස කරා.පාවිච්චි කරන perfume එකේ නම ඇහුවත් ඇය ඇස් දෙක කරකවලා "ඒක රහසක් කියන්නේ නෑ" කියලා විතරමයි මට කිව්වේ.

විනාඩි 2ක් විතර ඇස් පියාගෙන මම ඔහේ හිටියා.ඇස් අරින්න මට ලෝබ හිතුනත් කවුරු හරි මගේ උරහිසට අත තියනවා දැනුන නිසා මගේ ඇස් ඉබේටම ඇරුනා.මගේ ඇස් ඉදිරිපිට මෙත්සලාත් ඇයගේ අම්මාත් තාත්තාත් ඉන්නවා දැකලා පුදුම හිතුනා."මම හීනයක්වත් දකිනවාද" මට එහෙමත් හිතුනා .මගේ ළගට ආපු මෙත්සලාගේ අම්මා "පුතේ ඔයාලා දෙන්නට අපෙන් උනේ ලොකු වැරැද්දක් " කියලා පටන් අරගෙන තව මොන මොනවදෝ ගොඩක් දේවල් කියාගෙන කියාගෙන ගියත් මට ඒ කිසිම දෙයක් ඇහුනේ නැත්තේ මෙත්සලාගේ උරහිසට උඩින් කදුලු පුරවගත්ත ඇස් වලින් මගේ දිහා බලන් ඉදපු නවෝදා ළග මගේ ඇස් දෙකත් හිතත් නතර වෙලා තිබුන නිසා.

මෙත්සලා දැකපු මුල්ම දවසේ ඉදන් මෙත්සලා මාව දාල ගිය දවස වෙනකනුත් සිද්ද වුන හැම දෙයක්ම දන්න මගෙත් එක්ක දුක සතුට බෙදා ගත්තේ ඇය.මානසිකව වැටෙද්දී මාව දිරිගන්නවලා අද මම ඉන්න තත්වෙට ගේන්න උදව් කරේත් නවෝදා.මෙත්සලාගේ හීනයක් වෙලා තිබුන මගේ චිත්‍ර ප්‍රදර්ශනය මට සැබෑ කරලා දෙන්න මටත් වඩා මහන්සි වුනේ නවෝදා.

'Excuse me for a while" කියලා නවෝදාට අපි අතරට කතා කරපු මම "මෙත්සලා මේ ඉන්නේ මගේ wife නවෝදා" කියලා එයාලට නවෝදාව හදුන්වලා දුන්නා.මෙච්චර වෙලා මගේ අතින් අල්ලගෙන ඉදපු මෙත්සලා ඇගේ අත ඉක්මනින් මගෙන් ඉවතට ගත්තා.මොනවා කරන්නද මෙත්සලා ඔයා දැන් පරක්කු වැඩී.මගේ මුළු ලෝකෙම දැන් නවෝදාගෙයි අපිට ලැබෙන්න ඉන්න දරුවාගෙයි වෙලා ඉවරයි...

සත්‍ය සිදුවීමකට පාදක වූ කතාවකට අනුව හැඩගැසින..තමන්ගේ ආදරය දුටු විගස එය අත් නොහරින්න මක් නිසාද නැවතත් එවැනි ආදරයක් සොයා ගැනීම දුර්ලභ වන බැවිනි..සිතුන දේ ලියා යන්න අපට ඔබේ කොමෙන්ටු වැදගත් වේ..

Monday, February 6, 2012



මීට අවුරුදු 27කට විතර කලින් අපේ ආත්තම්මා ඇහැලේපොල කුමාරිහාමිට අයිතිවෙලා තිබුනා කියන මාතලේ මඩවල පැත්තේ වලව්වක් සල්ලි වලට ගත්ත දවස වෙන්න ඕන මගේ ජීවිතේ කනකොකා හඩලන්න පටන් ගත්ත දවස.

ඒත් ඒ වෙද්දී මම ඉපදිලාත් නෑ.අපේ අම්මට මාව හම්බ වෙන්න ඉදිද්දිලු ආත්තම්මා ඔය වලව්ව අපේ මාමාගේ නමට ලියන්න හැදුවේ.අම්මලා පුතාලාට ටිකක් වැඩිපුර ආදරේ හින්දා වෙන්න ඇති දුවට නැතුව පුතාගේ නමට වලව්ව ලියන්න හැඩුවේ.ඒත් ඉඩම් තණ්හාවෙන් හිදපු අපේ අප්පච්චි ඒ ගැන බහින් බස් වෙලා පටන් ගත්ත රණ්ඩුව දුර දිග ගිහින්ලු අපේ අම්මාවයි ඉපදෙන්න ඉදපු මාවයි දාලා යන්න ගියේ.තිබුන වාසනාකවකට නීතියෙන් වෙන් වෙද්දි දීපු තීරණය නිසා අප්පච්චිට එයාගේ වාසගම මට දෙන්න උනාලු.ඒ වගේම උප්පැන්න සහතිකේ පියා විදිහට නම දෙන්නත් කැමති උනාලු.ඒත් අවාසනාවකට ඒ වලව්වත් ආත්තම්මා කාටවත්ම ලියලා දීලත් නෑ ඒ සිද්ධියෙන් පස්සේ.

මම කවදාවත් අප්පච්චි දැකලා තිබුනෙත් නෑ මට දකින්න උවමනාවක් තිබුනෙත් නෑ,මම අම්මගෙන් අද වෙනකන් අප්පච්චි ඉන්නේ කොහෙද දැන් කරන්නේ මොනවද වත් අහල නෑ.ඒ තරමට මම ඒ අප්පච්චිට වෛර කරා. ඒකට මට සාදාරණ හේතුත් තිබුනා.උප්පැන්න සහතිකේට නම දුන්නට අප්පච්චි කෙනෙක් වෙන්න බෑ කියලා ඒ මනුස්සයාට එදා හිතෙන්න නැතුව ඇති.පොඩි කාලේ මාව හැමදාම ඉස්කෝලේ එක්කන් ගියේ අම්මා.මම බලාගෙන ඉදලා තියෙනවා අනිත් ළමයි එයාලගේ අප්පච්චිලාගේ අතේ එල්ලිලා ඉස්කෝලේ එන හැටිත් ඉස්කෝලේ ඇරිලා යන හැටිත්.ඒත් මාව එක්කන් යන්නත් එක්කන් එන්නත් ආවේ අම්මා විතරයි.දෙමාපිය රැස්වීමට ආවෙත් අම්මා.පාසල් සතියට ඉස්කෝලේ පවිත්‍ර කරන්න අප්පච්චිලාට එන්න කියන්න කියල ඉස්කෝලෙදි මිස්ලා කිව්වට හැමදාම මම වෙනුවෙන් ආවේ අම්මා.ඒ හින්දාම මට ඉස්කෝලේ ළමයි අප්පච්චි නැති ළමයා කියලා හිනා උනා.

මහනුවර ප්‍රසිද්දම බාලිකා පාසලක් උන නිසා අපේ ඉස්කෝලේ හිටීයෙ ලොකු ලොකු පවුල් වලින් ආපු ළමයි.එයාලා මාව කොන් කරා අප්පච්චි නැති ළමයෙක් කියලා.ඒත් අනිත් අයට වගේම මටත් හොද යාලුවෝ 3දෙනෙක් හිටියා ඒ නිරාෂායි, දර්ශියි, සුමේරායි. සුමේරා මුස්ලිම්. කවුරුහරි මට 'අප්පච්චි නැති ළමයා'කිව්වම මටත් වඩා තරහා ගියේ සුමේරාට.එහෙම කියනවා ඇහුන ගමන් සුමේරා කියපු කෙනා කවුරු උනත් ඒ ගෑණු ළමයට ගිහින් බැන්නා.

මම 9වසරේ විතර ඉදිද්දි අපේ ආත්තම්මා අපේ අම්මව දෙවැනි සැරෙට කසාද බන්දලා දීපු දවසේ එයාලට වඩා සතුටු උනේ මම.ඒ මට ආපහු අප්පච්ච් කෙනෙක් ලැබුන නිසා අඩුගානේ දැන්වත් මට "අප්පච්චි නැති කෙල්ල" කියන එක නැති වෙයි කියලා හිතලා.ඒත් සිද්ධ උනේ ඒකේ අනිත් පැත්ත.ළමයි මට වැඩිපුර හිනා වෙන්න විහිළු කරන්න ගත්තා "ශංකිනිට පස්සේ හම්බ වුන අය්යා කෙනෙකුයි ලොකු වෙලා ඉපදුන මල්ලි කෙනෙකුයි ඉන්නවා කියලා".මේ කතා ඔක්කෝම ඇහෙද්දී මට අප්පච්චි ගැන වෛරයක් ඇතිවෙන එක සාදාරණයි කියලා මම හිතනවා. "ඔය මනුස්සයා හම්බ උනොත් මම මරණවා මරණවාමයි" කියලා මම හිතාගෙන හිටියා.ඔය ඔක්කොම දේවල් අස්සෙත් උසස් පෙළ ලියලා මම පේරාදෙණිය වෛද්‍යයට තේරුනහම මටත් වඩා සතුටු උනේ මගේ කුඩප්පච්චි.

කුඩප්පච්චිට හැමදාම ඕන උනේ මම හොදට ඉගෙන ගන්නවා දකින්න.එදා අපේ අයියාට ඇඩුනා.මම ඒ අපේ අයියා අඩනවා දැක්කමයි.මට මතකයි ඉස්සර මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිලා "අනේ අම්මේ මට ආපහු ඉස්කෝලේ යන්න බෑ ළමයි මට අප්පච්චි නැති කෙල්ල කියනවා"කියලා අඩද්දි අයියා ලගට ඇවිත් "මොනවා කරන්නද නංගි ඕක කියන්නේ කොල්ලෙක් නම් මට ඌගේ දත් ටික කඩලා අතෙ පයේ හිරිවත් ඇර ගන්න තිබුනා ඒත් මට කෙල්ලෝන්ට අත උස්සන්න බෑනේ" කිව්වා.

වෛද්‍ය විද්‍යාලයට යද්දී මම හිතුවා ළමයි මට මෙහේදි "අප්පච්චි නැති කෙල්ල"කියන එකක් නෑ කියලා. වාසනාවකට කවුරුවත් මට එහෙම කිව්වේ නැති උනාට වෛද්‍ය විද්‍යාලයේදී අපේ senior batch එකේ අයියා කෙනෙක් මට විවාහ යෝජනාවක් ගෙනල්ලා පස්සේ එයාම ඒක ඉල්ලා අස් කර ගත්තා අපේ අම්මා දෙවනි සැරෙට කසාද බැදපු කෙනෙක් නිසා එයාලගේ ගෙදරින් කැමති නෑ කියලා.ආපහු වතාවක් මට මගේ අප්පච්චි මරන්න තරහක් ආවා. හිතේ තියන වෛරය දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නෑ.

දැන් වෛද්‍ය විද්‍යාලයෙන් OUT වෙලා මම සීමාවාසික වෛද්‍යවරියක් විදිහට මහනුවර මහා රෝහලේ සේවය කරනවා.ඉස්සර මට හිනාවුන, මට විහිළු කරපු අය දැන් මගේත් එක්ක හොඳට හිනා වෙලා කතා කරනවා එයාලගේ පවුලේ කෙනෙක් ලෙඩ උනාම මට කරලා උදව් ඉල්ලනවා.ඒ කිසි කෙනෙක් ගැන මගේ හිතේ පොඩීවත් තරහක් නෑ ඒ නිසා පුළුවන් විදිහට ඒ ඔක්කෝටම උදව් කරන්නේ මම හරි කැමැත්තෙන්.ඒ ඔක්කොමත් හරි ඉදලා ඉදලා ගෙදර ගියහම අපේ ආත්තම්මගෙන් පුදුම වදයක් තියෙන්නේ එයාගේ අර මූසල වලව්ව මගේ නමට ලියවන්න එයත් එක්ක lawyer කෙනෙක් ගාවට යන්න එන්න කියලා. ඒ මූසල වලව්ව මට එපා කියලා මට කියා ගන්න බෑ ආත්තම්මගේ හිත රිදෙන නිසා. බැරිම තැන ගිය සදුදා උදේ වාට්ටුවේ Sir ගෙන් පොඩි නිවාඩුවක් ඉල්ලගෙන ආත්තම්මා එක්ක ගිහින් එයාගේ හිත සතුටු කරන්න ඒ මුසල වලව්වේ අයිතියත් බෑග් එකේ දාගෙන මම ආපහු වාට්ටුවට ගියා.

ආපු ගමන්ම නර්ස් කෙනෙක් ඇවිත් "ඩොක්ටර් surgical ward එකෙ ඉදලා අපේ ward එකට මාරු කරලා එවපු patient කෙනෙක් ඉන්නවා ischemic type එකේ chest pain එකක් ආපු. ඩොක්ටර් ප්‍රදීප් කියන්න කිව්ව ඩොක්ටර්ට පොඩ්ඩක් ඒ patientව බලන්න කියල්ල" කිව්වා.ළගට ගිහින් විස්තර අහද්දි මාව වෙව්ලලා ගියා මේ මගේ අප්පච්චි. මරන්න තරම් තරහක් හිතේ තිබුනත් කොහොම මරන්නද Hippocratic Oath( වෛද්‍ය දිවුරුම් දීම ) දීපු මගේ රස්සාව ලෙඩ්ඩු සනීප කරන එක. ඒත් මම නිකමටවත් කියන්න ගියේ නෑ මම එයාගේම දුව කියලා.ගෙදර ගිහින් අම්මට කිව්වෙත් නෑ මේ කාලකණ්නි මනුස්සයා ගැන.අම්මට කියන එක අපරාදේ කියල මට හිතුනා.

අද අප්පච්චිව discharge කරා,යන්න ලේස්ති වෙලා අප්පච්චි එයාගේ බිරිදයි මගේ ළගටත් ඇවිත් අනිත් දොස්තරලාට වැන්දා වගේම මටත් වැදලා යන ගමන් "මටත් දුවගේ වයසේම විතර දුවෙක් ඉන්නවා,ඒ දුවත් දොස්තර කෙනෙක්ලු ඒත් මම එයාගේ නම දන්නේ නෑ ඒ දරුවටයි එයාගේ අම්මාටයි කරපු දේවල් වලට තමා මම අද මේ විදවන්නේ. ඒ පව් නම් කවදාවත් මට ගෙවලා ඉවර කර ගන්න බැරි වෙයි" කියලා ගියා. (කියන්න සතුටුයි පාඨකයිනි,අප්පච්චිව මරන්න තරම් තරහක් හිතේ තියන් හිටපු මට අද ඊට වඩා සතුටක් දැනෙනවා ඒ මනුස්සයාව සුවපත් කරවලා. ඒත් තවමත් අර මූසල වලව්වේ අයිතිය මගේ බෑග් එකේ)

ඔයාලට මොකද හිතෙන්නේ මේක කියෙවුවම...නිදහසේ හිතුන ඕනම දෙයක් ලියල යන්න

Sunday, February 5, 2012

ආගන්තුකයා

ශමිලාත් අවන්තිත් මමත් ඇල්පිටියේ ඉදලා කොග්ගලට එන්නේ නිදහස් වෙලඳ කලාපයේ රැකියාවට.දරිද්‍රතාවයේ හිනිපෙත්තේ ඉදපු අපේ පවුල් වල ජීවන බර ටිකක් හරි අඩු කරන්න අපිට ඕන උනා.

අපි තුන්දෙනා සිටියේ එකම බෝඩිමේ.ඒත් මීට අවුරුද්දකට කලින් අවන්තිගේ අම්මා හදිස්සියේම නැති වුනත් එක්කම අවන්තිගේ අප්පච්චි අවන්තිව රුවිනට සරණ පාවලා දුන්නා.

රුවින රැකියාවක් කියලා කරේ ගමේ මේසන් වැඩ කරපු සුගතන් බාස් ලග අත් උදව් දීපු එක.රුවින විවාහයෙන් පස්සේ අවන්තිත් එක්ක කොග්ගලට ආවේ අවන්තිගේ රැකියාවත් ඉන් ලැබුන පඩියත් එයාලට මහමෙරක් වගේ වටින නිසා.

රුවිනත් වෙලඳ කලාපයෙන්ම රැකියාවක් හොයා ගත්තා.විවාහයෙන් පස්සේ අපේ බෝඩිම අසලින්ම කුඩා කාමරයක වෙනම ඉන්න අවන්තිත් රුවිනත් දකින හැම වෙලාවකම මටත් ශමිලාටත් පුදුම සතුටක් දැනුනා.පොඩි කාලේ ඉදන් එකට ඉදපු යාළුවොඉ තුන්දෙනා විදිහට අපි එකිනෙකා ගැන හොද අවබෝධයකින් සිටියා ඒ හින්දාම වෙන්න ඇති ජීවිතේ කවදාවත්ම තිබුනේ නැති හිනාවක් අවන්තිගේ මූණේ දැන් තියෙනවා කියලා අපි දැක්කා.

රුවින අවන්තිය හොඳ ස්වාමිපුරුශයෙක් උනා වගේම අපිටත් හොඳ සහෝදරයෙක් උනා.වෙනදාට හැම ප්‍රශ්නයක්ම ශමිලත් මමත්,අවන්තිත් එක්ක බෙදා ගත්තට දැන් තමන්ගේම පවුල් ජීවිතයක් ගෙවන අවන්තිට අපි අපේ ප්‍රශ්න කියන්න ගියේ නෑ. ඒ දෙන්නට ඒ දෙන්නගේ පාඩුවේ ඉන්නදෙන්න අපිට ඕන උනා.ඔහොම ජීවිතෙ ගලාගෙන යද්දි එක දවසක් අවන්තිගේ මූණේ ලොකු වෙනසක් පෙනුනා.ප්‍රශ්නයක් තියෙන බව අපිට තේරුනත් ඇය නොකියපු නිසා අපි අහන්න ගියෙත් නෑ.ඒත් බලාගෙන ඉන්න බැරිම තැන අපිට අහන්න සිද්ධ උනා.

මුලදි මුලදී නොකිව්වත් පස්සේ ඇය අපිට මෙහෙම කිව්වා "මම අම්මා කෙනෙක් වෙන්න යනවා චායා.ඒත් රුවින කැමති නෑ දැන්මම දරුවෙක් හදන්න ඒ අපිට සල්ලි නැති නිසා. හරියට ඉන්න තැනකුත් නෑනේ ඒනිසා අපි abortion එකක් කරමු කිව්වා.අනේ මම කොහොමද ඒකට හා කියන්නේ දෙයියනේ? අපේ අප්පච්චිගේ බෙහෙත් වලටත් නංගිගේ ක්ලාස් වලටත් වියදම් කරන්නේ මම.රුවිනත් එයාගේ ගෙදරට වියදම් කරනවා.මොකද චායා මම මේකට කරන්නේ??"අවන්ති එක හුස්මට කියන් ගිහින් අන්තිමට ඔහොම ඇහුවම මට වගේම ශමිලාටත් කට උත්තර නැතුව ගියා.

අපේ ගෙවල් වල තියන ප්‍රශ්න දන්නේ අපි විතරයි.එහෙම එකේ ළමයෙකුත් හදලා ඒ ළමයට වියදම් කරන්න තරම් ස්ථාවර මට්ටමක තාම අපි නෑ. ඒත් මනුස්සයෙක් විදිහට කොහොමද කියන්නේ abortion එකක් කරන්න කියලා?මේ දෙන්නගේ පරිස්සමක් නැති කමට කර ගන්න දේවල් වලට ඉපදෙන්න ඉන්න ළමයා පළිත් නෑ.'ඕවා ඔයාලා කලින් හිතන්න තිබුන දේවල්" ඔය ටිකත් අවන්තිට කියා ගන්න මට උවමනාව තිබුනත් ඒක කියන්න මගේ දිව නැමුනෙත් නෑ.

අවන්ති කියපු විදිහට දැන් රුවිනට ඕන කොහොමහරි රුපියල් 10,000ක් හොයලා ඉක්මනටම abortion එකක් කරන්නමලු.අවන්ති ඉදියෙත් හුගක් දුකෙන්,අඬා ගත්ත ගමන්.ඇස් වලින් ඇඩුවේ නැති උනාට රුවිනත් හිතින් අඬන බව මට තෙරුනා.රුවිනට දැන් වෙනදට නැති තරම් කේන්ති යනවා.රුවින කියන්නේ යකෙක්,අමනුස්සයෙක් නෙමෙයි. අගහිග කම් වලින් පිරිල හිටපු එයාලගේ ජීවිත වලට ළමයෙක් හදනවා කියන එකත් ලොකු බරක්. ඒත් abortion එකක් කරමු කියලා අවන්තිට යෝජනා කරපු වෙලාවේ ඉදන් මට රුවින පේන්නේ අපේ ගමේ හරක් මරන මුදලාලි "නානා" වගේ.උදේ පාන්දර වැඩට යන්න එලියට බැස්සම රුවින දැක්කම මට මැවිලා පෙනුනේ අපි ඉස්කෝලේ යද්දි හැමදාම උදේට ඉනේ පිහියත් ගහගෙන මස් කඩේ ඉස්සරහා ඉදපු නානා මුදලාලිව.

වෙනදට වැඩ ඇරිලා කෙලින්ම ගෙදර එන රුවින දැන් ගෙදර එන්නේ හුගක් රෑ වෙලා.එයා දැන් හැමදාම වගේ O.Tකරනවා.නිවාඩු තියන හැම වෙලාවකම හංදියේ කඩේ බඩු කිරන්න යනවා.ඒ හින්දම වැඩ ඇරිලා ගෙදර යන අවන්ති ගෙදර වැඩ ඉවර වෙලා අපේ බෝඩිමට ඇවිත් ඉන්නවා රුවින ඇවිත් එයාව එක්කන් යනකන්.මට මතකයි අපේ අක්කා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්ත වෙලාවේ අක්කගෙයි,අපේ අම්මගෙයි, අක්කා බැදපු අයියාගෙයි මූණේ තිබුන සිරියාව. එයාල පුදුම සතුටකින් ඉදියා.අක්කා බලාගෙන ඉද්දි ලස්සන උනා. ඒත් මම අවන්තිගෙන් දැක්කේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත.අවන්ති බලාගත්ත අත බලාගෙන කල්පනා කරා, අවන්ති හූල්ලන සද්දේ ! ඒ හූල්ලන හීල්ලිල්ලා අපිවත් ඇදිලා යන තරම්.

සමහර සෙනසුරාදාවල් ඉරිදාවල් පෝය දවස් වලට රුවින මේසන් බාස් කෙනෙක් ලග අත් උදව් දෙන්නත් ගියා.රුපියල් 10,000ක් හොයන්න රුවින විදින දුක දැක්කත් මට රුවින ගැන ඇති වෙලා තිබුන අප්‍රසන්න හැගීම නිසාම මට රුවින ගැන දුකක් හිතුනෙම නෑ.කොච්චරද කිව්වොත් මමයි ශමිලයි අවන්තිගේ ගෙදරට යන එක පවා නැවැත්තුවා. ඒ කාමරය පුරාවට අපිට පෙනුනෙත් මහ මූසල පෙනුමක්.මේ ඔක්කොම ප්‍රශ්න අස්සේ මේ මුකුත් නොදන්න අවන්තිලගේ දරුවා දවසින් දවස අවන්තිගේ කුස තුල වැඩුනා.දැන් ඒ දරුවාට මාස 2ක්.අනේ ඒ අසරණ දරුවා ........

ඔය විදිහට මාස දෙකක් ගිහින් දවසක් රෑ වැඩ ඇරිලා අවන්තිව එක්කගෙන යන්න අපේ බෝඩිමට ආපු රුවින අපි ඉන්න තැනම අවන්තිට කිව්වා "දැන් නම් සල්ලි හරි සුදු නංගි අපි අනිද්දට යමු දොස්තර ගාවට. අනේ තව පරක්කු උනොත් ඒක ඔයාටත් හොඳ නෑ මගේ රත්තරං" කියලා.ඒක අහපු ගමන්ම අවන්ති එහෙම්මම ළග තිබුන පුටුවට බර උනා. අවන්ති වාඩි උනා නෙමේ අවන්ති පුටුවට කඩන් වැටුනා කිව්වොත් හරියටම හරි.

මට ඇහුනා අවන්තිගේ හැඩුම් හඩ .. අනේ ඒ කෙල්ල තමනගේ කුසේ වැඩෙක රුවිනගේ දරුවාව බේරගන්න දරපු මහන්සිය..!පුටුවට කඩාවැ‍ටුන අවන්ති ලඟ රුවින දණ ගැහුවා " අනේ මගේ රත්තරං අපි යමු ඇබෝශන් එක කරන්න ..මම මේ මහන්සි වෙලා මෙච්චර සල්ලි හොයාගන ආවේ මේක කරන්න නේද නංගියේ..මම දරුවෙක්‍ට අකමැත්තෙන් නෙවේ......ඒත් අපේ අඟහිඟ කම් මේ දරුවා දන්නේ නෑ නේද ??? අපි කොහොමද මේ දරුවව හදාගන්නේ ! ඔයාට තේරෙනවා නේද ??" කියා රුවින බිම බලාගත්තා..

ටික වේලාවක් හඬපු අවන්ති තමා අසල බිම දණ ඔබා සිටින රුවින දෙස බලා ඔහුගේ හිස අතගාමින් "අනේ මගේ රත්තරං රුවින අයියේ !මට බෑ මගේ පැටියව නැති කරන්න ..ඔයා මේ දරුවව නැති කරන්න කොච්චර මහන්සි වෙලා මෙච්චර ඉක්මනට සල්ලි ටික හෙවුවාද..කොච්චර දුක් වින්දාද..අනේ රත්තරං අ‍යියේ !අපි දෙන්නම හැමදාම මහන්සි වෙලා මේ වගේ සල්ලි හොයලා මේ දරුවාව ජීවත් කරමු ..අනේ අයියේ .........අපේ ආදරේ පළවෙනි සංකේතය අපි එයාට එන්න දෙමු අයියේ ....." කියා හ‍ඩමින් කියාගන කියාගන ගියා.මේ කතාව ඇහුන ගමන්ම මාවත් සීතල වෙලා ගියා..එකපාරම රුවින අවන්තිගේ කුස මත හිස තබාගන අඩන්න ගත්තා.. "නංගි අපි යමු ගෙදර" කියලා අපිට කියන්නෙත් නැතුවම යන්න ගියා.

පස්සෙන්දා සෙනසුරාදා මටයි ශමිලාටයි අවන්ති බලන්න යන්න උවමනාව තිබුනත් උදේ රුවිනත් අවන්තිත් ගෙදරින් එලියට යනවා දැක්ක නිසාත් දවල් රුවින ගෙදර ඉදපු නිසාත් රුවිනගේ මූණ බලන්න තිබුන අකමැත්ත නිසාමත් ගියේ නෑ.හවස රුවින එළියට බැහැල යනකන් බලන් ඉදලා අපි දෙන්නා ඒ පැත්තට ගියේ මොකද උනේ කියල දැනගන්න

අවන්තිගේ කාමරයට අඩිය තියනකොටම කවදාවත් නැති අළුත් බවක් අළුත් සුවඳක් අපිට දැනුනා.මීට කලින් කවදාවත් දැකලා නොතිබුන පොඩි බබෙකුගේ විශාල ප්‍රමාණයේ රාමු කරන ලද පිංතූරයක් අවන්තිගේ කාමරයේ බිත්තියේ එල්ලලත් තිබුනා......

බුල්ටෝ කඩේ කදමල්ලෙන් විතරමයි ... ඔයාට මේ කථාව කියවලා හිතුන දේවල් ලියලාම යන්න .. ඒ අදහස් අපිට වටිනවා

Saturday, February 4, 2012

අකුරට ගිය පාසල් කාලේ.....



බලන්නකෝ ‍ඔයාලත් මේවාට එකඟ වෙනවාද කියලා .. බුල්ටෝ සීයා‍ට වෙච්චි දේවලුත් මෙතන තියනවා !!!

►බොහොම භයානකම ශබ්දය - උ‍දේ පාන්දර ‍පළමු සීනුව
►අපහසුම වැඩේ - ළමුන් ඉදිරියේ බැනුම් ඇසීම / ගුටි කෑම
►භයානකම ගමන් මාර්ගය - පන්තිකාමරයට යන පාර
►ආසම වැඩේ - කට්ටිය සමග කදේ වැටීම
►බොහොම දුක්ඛදායකම මොහොතක් - නොසිතූ ලෙස පළමු පරිච්ඡේදයේ ටෙස්ට් එකක්
►අහන්න ආසම ශබ්දය - විවේක කාලය සදහා සීනුව
►අහන්න ආස හොදම නිවුස් එක - " අද මිස් නෑ "
►එපාම වෙන වැඩේ - උදේ පාන්දරම සර්ගෙන් ගුටි කෑම ( පරක්කු වෙලා ආවම )
►කරන්න ආසම වැඩේ - කාල පරිච්ඡේදය තුල නින්දක් දැමීම
►කැමතිම කාල වකවානුව - නිවාසාන්තර ක්‍රී‍‍ඩා කාලය
►උනන්දුවෙන්ම කරන වැඩේ - පීරියඩ් කට් කිරීම
►කරපු බොරුම වැඩේ - ටීචර් තේරුනාද අහපුවාම " ඔව් " කීම
►බෑ කියල හිතිල කරන්නම උන වැඩේ - උදේ සමිතියේදි කතාව කරන්න සිද්ධ වීම
►ඔළුවෙන් හිටගන කිවුවත් නොකරපු වැඩේ - විභාගයට සතියකට දෙකකට කලින් පා‍ඩම් කිරීම
►නොකිවුවත් කරපු වැඩේ - ඉන්ටවල් එකට කලින් කෑම ඔක්කොම කාලා දැමීම
►මතක් උනත් ආස වැඩේ - යහළුවන් අතර " පොරක්" වීම
►ඉදලා හිටලා ඇගේ හිරි ඇරගන්නත් එක්ක වලියක් දමාගැනීම
►තනි ඇහෙන් ඇඩුන අවස්ථා - පංති කට් කර ඇවිදිමින් සිටින විට ප්‍රින්සිපල් කොහෙද ඇවිදින්නේ ඇසීම / පීරියඩ් එකේදී නින්ද ගොස් සිටින විට හුණු කොට්ටය විත් මූනේ වැදීම
►ලෝක විනාසයක් සිදුවනවා සේ දැනීම - ප්‍රින්සිපල්ගෙන් පොලු පාර කෑම
► කැමතිම ස්ථාන - කැන්ටිම / විද්‍යා පරීක්ෂනාගාරය / පොදු ටැප් එක / නළ ලිද
►අකමැතිම ස්ථාන - විදුහල්පති කාමරය / අවුව වැටෙන දණ ගහපු තැන් / තාප්පය
►දුකම කාල වකවානුව - පාසලෙන් සමුගන්නා කාල වකවානුව

ඔයාලටත් මේවා කියවනකොට මතක්වෙන සුවිශේෂී අත්දැකීම් ඇතිනේ පාසල් කාලය සුන්දරයි කියලා හිතෙනවා නම් කමෙන්ටුවක් දාලා ශෙයාර් පාරකුත් දාමු

Friday, February 3, 2012

ටින් ටින් ගේ වික්‍රමය....



ඔන්න අපි අද කියන්න යන්නේ අපි හැමෝම ආදරේ කරන කෙනෙක් ගැන. ඒ ටින් ටින් (Tin Tin).නම ඇහුන ගමන්ම අපි හැමෝටම දෙයක් හිතෙනවා නේද?
ටින් ටින් කියන්නේ අපි බහුතරය දෙනාගේ පුංචි ලෝකේ වීරයා.එහෙනම් ඔන්න මම අද ඔයාලට ටින් ටින් ගැන විස්තර ටිකක් කියන්න යන්නේ.
ටින් ටින්ගේ වීරක්‍රියා (The Adventures of Tintin) නමින් අපි අතරට ආපු හාස්‍යෝත්පාදක පොත් මාලාව නිර්මාණය කලේ බෙල්ජියන් ජාතික කලාකරුවෙක් වන Georges Prosper Remi.ඒ නම අපිට ටිකක් නුපුරුදුයි, ඔහු ප්‍රසිද්ද වෙලා හිටියේ HergE කියන නමින්.
දන්නවද ළමයිනේ මේ පොත් පෙළ 20වන සියවසේ වැඩියෙන්ම ජනප්‍රිය වුන වීර ක්‍රියා පොත් අතරින් එකක් උනා.මේ පොත් මාලාව ලොව වටා භාෂා 50කට පරිවර්තනය වුන අතර මෙ වෙනකොට මිලියන 200කට අදික පොත් ස0ඛ්‍යාවක් විකිණිලා තියනවලු.
ටින් ටින්ගේ කතා මාලාව 1929දී ආරම්භවෙන්නේ තරුණ නිර්භීත බෙල්ජියන් ජාතික පුවත්පත් වාර්තාකරුවෙක් වන ටින් ටින් නැමති අපේ පුංචි වීරයා වටා.
මුලින්ම මේ කතාව බෙල්ජියාවේ ප්‍රසිද්ධ පුවත්පතක් වන Le XXe Siècleහි 1929 ජනවාරී 10දා සිට ප්‍ර0ශ භාෂාවෙන්කොටස් වශයෙන් පළවුනාලු.
1950දී Herge විසින් Studios Herge නමින් චිත්‍රාගාරයක් ආරම්භ කරන අතර එහිදී ටින් ටින්ගේ වීරක්‍රියා 24ක් අන්තර්ගත ඇල්බම් එලි දක්වන අතර ඒ සියල්ලම පාහේ රූපවහිනිය, ගුවන්විදුලිය, ර0ගශාලා හා චිත්‍රපට ලෝකය ආක්‍රමණය කරනවා.
මේ සියළුම කතා මාලාවන්හි වීරයා වන ටින් ටින්ගේ පෞද්ගලික සහයකයා වෙන්නේ Wire Fox Terrier වර්ගයට අයත් සුරතල් බලු පැටියෙක් වන ස්නෝවී (snowy).පසුව සුදුසු ස්ථාන වලදී මේ කතා මාලාවට තවත් නළු කැලක් එකතු වෙනවා.
දැඩි කලබලකාරී ස්වරූපයක් තිබෙන ඉවසීම අඩු කැප්ටන් හැඩොක් ( Captain Haddock), ඉතා බුද්ධිමත් නමුත් කණ් ඇසීම ටිකක් දුර්වල මහාචාර්ය කැල්කියුලස් (Professor Calculus), අදක්ෂ රහස්පරීක්ෂකවරු දෙදෙනා තොම්සන් සහ තොම්ප්සන් ( Thomson and Thompson).
මේ ඇරුනම මේ කතා මාලවට විසින් කතාවේ රසය වැඩිකරන්න නෙස්ටර් (Nestor) නැමති සේවකයා, බියන්කා ලැස්ටෆියාරේ (Bianca Castafiore) නැමති ගායිකාව,ටින් ටින්ගේ පරම හතුරා රස්ටපොපියුලස් (Rastapopoulos)නුත් එක් කරා.ඒ අය වටා ගොතපු රස කතා තිබුනා කියලා ඔයාලට මතක ඇති කියලා හිතනවා.
මේ කතා මාලව මේතාක් කාලයක් නොකඩවා ජනප්‍රිය වෙමින් පැවතීම පිටුපසින් තියන රහස විදිහට මම දකින්නේ ඒ සියළු කතාවල තියෙන පැහැදිලිබව,චිත්‍ර ශිල්පියා සියළු චරිත වලට දීලා තියෙන බාහිර ස්වරූපය, ඔවුන්ගේ කතා විලාශය.
{උදාහරනයක් විදිහට බලන්න: බිබිලි නගින බෙලිකටු (Blistering Barnacles) මේක තවමත් අපේ සමජයේ ඒ සමහර වචන භාවිතා කරනවා.}
ඒවගේම සිංහලට හඬ කවලා ජාතික රූපවාහිනියෙන් අපි අතරට ආපු ටින් ටින් කතා මාලාව ප්‍රසිද්ධ වෙන්න බලපාපු තවත් කාරණයක් තමයි ඒ චරිත වලට පණපොවපු අපේ ලාංකික හඬ කැවීම්ශිල්පීන්.
බලන්න වීඩියෝවක් - මතකද ටිං ටිං කතා මාලාවේ සංගීත ඛණ්ඩය ???
මේ ලිපිය කියවලා ඔයාලත් ආපහු ඔයාලගේ පුංචි කාලෙට ගියා කියලා සතුටක් දැනෙනවානම් Herge ගේ ඉදලා ටින් ටින්,ස්නෝවි හරහා ඇවිත් මේ කතා මාලාවට පණ පොවපු අපේ ලා0කික හඬ කැවීම්ශිල්පීන්ටත් කරන ගෞරවයක් විදිහට මේක like කරලා comment එකක් දාලා අනිත් අයත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා

අක්කලාගේ ආදරය...



අපේ අම්මා මාවයි, අයියවයි අපේ අප්පච්චිවයි මේ ලෝකේ තනි කරලා නොඑනා ගමන් ගියේ මම 5වසරේ ශිෂ්‍යත්ව විභාගේ ලියලා මාසයක් යන්නත් කලින්.අම්මා නැති උනාට පස්සේ අප්පච්චිගෙයි අයියාගෙයි ජීවිතවලට වඩා අඳුරු උනේ මගේ ජීවිතේ කියලයි මට හිතෙන්නේ.මොකද අම්මා නැති වෙන්න කලින් මම පන්තියේ හැමදාම 10 වෙනියාගෙන් උඩ ඉදියා. අම්මා නැති උනත් හරි මම හැමදාම පන්තියේ අන්තිම 10 දෙනා අතරේ ඉදියා.
මමයි අයියායි ඉගෙන ගත්තේ මහනුවර ශ්‍රී සුමංගලේ අයියා ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ ඉදපු නිසා ඉදලා හිටලා මදුවිත තොල ගෑවත් සිගරට් එකක් බිව්වට ඇරෙන්න අපතයෙක් උනේ නෑ.ඒකට මම.අම්මා නැති උනත් හරි මම ඉස්කෝලේ cut කරලා රස්තියාදු ගහන්න පුරුදු උනා, සල්ලි වලට කොල්ලෝගේ රණ්ඩු වලට ගිහින් අම්බානෙකට කොල්ලොන්ට ගහලා තියනවා.
ඔහොම ඉදලා මම 9වසරේ පන්තියේ ඉන්න කාලේ දවසක් මට ඇහුනා අප්පච්චි අයියා එක්ක කියනවා කුඩම්මා කෙනෙක් ගේන්න යනවා කියලා.එදා මට අප්පච්චි එක්ක විතරක් නෙමෙයි එන්න ඉන්න කුඩම්මා එක්කත් යකා කේන්තියි. "එද්දෙන්කෝ කුඩම්මා මම බලා ගන්න එන්නේ අපේ ගෙදරටනේ". ඔය මට එදා හිතුන හැටි.
කුඩම්මා ඇවිල්ලා සතියක් ගියේ නෑ මගේ හිතේ තිබුන ඔක්කෝම වෙනස් උනා.කුඩම්මා අම්මා වගේම නැති උනත් මගෙයි අයියාගෙයි නොසන්ඩාල වැඩ වලට අප්පච්චිගෙන් ඇති වෙන්න බැනුම් ඇහුවා.ඒ හින්දමද කොහෙද කුඩම්මා අපේ ජීවිත වලට ගොඩක් සමීප උනා.
සමහර දවස් වලට මම දැකලා තිබුනා කුඩම්මා අපිට හොරෙන් අඩනවා,ඒ එයාගේ දුව මතක් වෙලා.කුඩම්මා කලින් කසාද බැදලා ඉදලා දික්කසාද උන කෙනෙක්.එයාට ඉදියා මට වඩා අවුරුදු 3ක් වැඩිමල් දුවක්. ඒ අක්කා අපේ අයියාට වඩා අවුරුදු 2ක් බාලයි.අක්කා ඉගෙන ගත්තේ කොළඹ ලොකු ඉස්කෝලෙක ඒ නිසා එයා කුඩම්මා එක්ක අපේ ගෙදර ආවේ නෑ.මුල් කාලේ මට අක්කවත් පෙන්නන්න බැරි උනත් අක්කා පේරාදෙණිය කැම්පස් එකට සිලෙක්ට් වෙලා අපේ ගෙදර ආවට පස්සේ මට මගේ ලෝකේ මගේ අම්මට පස්සේ හම්බ උන උතුම්ම කාන්තාව ඒ අක්කා උනා.පාරේ රස්තියාදු ගහපු මාව කණෙන් ඇදන් හරි ගෙදර එක්කන් ආවේ අක්කා. මගේ අම්මියෝ අක්කා එක සැරයක් මගේ දිහා ඔරවලා බැලුවම මාව සීතල වෙලා යනවා.
මට හවසට හවසට පාඩම් කියල දීලා ආපහු මාව පන්තියේ 10වෙනියාගෙන් උඩට ගෙනාවේ අක්කා.හැමදාම උදේටයි රෑටයි මට කැව්වේ අක්කා.අදත් රෑ කැව්වේ මට අක්කා.මගේ ඇඳුම් අදටත් හෝදන්නේ මගේ අක්කා. දැන් ඇය මගේම අක්කා වෙලා.අපේම පවුලේ ව්‍යාපාරයක් කරන නිසා මම වැඩිපුර දැන් ඉන්නේ ගෙදර. නිවාඩු කාලෙට අක්ක ඉදියෙම මගෙත් එක්ක.කුඩම්මා අපි දෙන්නට කිව්වේ ස්කූබි ශැගී (scooby & shaggy) වගේ කියලා.
මට මතකයි දවසක් ජොලියටත් එක්ක මම සිගරට් එකක් බීලා අක්කට ඒක ආරංචි වෙලා ඔක්කොටම හොරෙන් මම වත්ත පල්ලෙහාට යනකන් ඉදලා මගේ පස්සෙන් ඇවිත් කෝටුවක් කැඩෙනකන්ම අක්කා මට ගැහුවා. ගහලා ගහලා අක්කාම ඇඩුවා.දවස් ගානක් අක්කා මගෙත් එක්ක කතා කරේ නැතුව ඉදියා.අක්කා කෑවෙත් නෑ. අක්කා බඩගින්නේ ඉද්දි මට කන්නත් බෑ බෑ වගේ.ඔක්කෝටම වඩා හපන් අක්කා කතා නොකරන එක වෙනදට ගිරවා වගේ කියව කියව ඉදපු අක්කාගේ කටහඩ ඇහෙන්නේ නැතුව මට මොකදේ මොකදේ වගේ ඒ දවස් ටිකේ.කොහොම හරි ආපහු ජීවිතේටවත් මත්පැන් දුම්වැටි කටේ තියන්නේ නෑ කියලා දිවුරලා අක්කාව යාළු කරගත්තා.
අම්මා නැති මට අම්මා වෙන්න කුඩම්මා ගොඩක් මහන්සි උනා.ඇය අසාර්ථක නෑ ඒත් මට අම්මා උනේ මගේ අක්කා. මට නින්ද ගියාම bed sheet එකෙන් මාව පොරවලා මගේ ඔළුවත් ඉඹලා අක්කා යනවා.මමත් නිදි වගේ හොරට ඉදලා තියන නිසා ඒක හොදට දන්නවා.
එකම අපලෙකට තිබ්බේ අක්කා එක්ක කොහෙවත් යන්න බෑ.කෙල්ලෝ මගේ දිහා බලන්නේ නෑ.හැමෝම රැවටෙනවා මේ මගේ girl friend කියලා.එපාම වෙන වැඩේ ඒක.අක්කාව බසිකල් එකෙන් කැම්පස් එකට ගෙනිහින් දාන එක තරම් එපාකරපු වැඩක් මට තවත් තිබුනේ නෑ.මෙලෝ කෙල්ලෙක් මගේ දිහා බැලුවේ නෑ. මම කුඩම්මාට හැමදාම කියනවා මට පොඩි බෝඩ් කෑල්ලක් ලියලා දෙන්න කියලා "මේ බයිසිකලේ පිටිපස්සේ සිටින්නේ මගේ අක්කාය" කියලා. කෝ අද වෙනකන් තාම ලියලා දුන්නේ නෑ.
අප්පච්චි,අයියායි හවසට ගෙදර එද්දි කන්න දෙයක් ගෙනාවම කුඩම්මා ඒක 5ට බෙදලා ලොකුම පංගුව දෙන්නේ මට. අක්කා එයාගේ පංගුවෙනුත් කොටසක් මගේ කටේ ඔබලා යන්නේ හොදම දේ මල්ලිටයි කියලා. අක්කා මගෙත් එක්ක බෙදාගත්තෙ නැත්තේ අයිස් ක්‍රීම් විතරයි. අක්කා අයිස් ක්‍රීම් වලට නම් පුදුම පෙරේතයි.
මෙච්චර දවසක් මගේ ළග මගේ අම්මා වගේ මගෙත් එක්ක මගේ ඔක්කොම දුක සැප බෙදා ගත්ත මගේ ආදරණීය අක්කා හෙට මනමාලියෙක් වෙලා අපේ ගෙදරින් යනවා.හෙට ඉදන් සමහරවිට මම මගේ ලෝකේ ආපහු තනිවේවි.අම්මා නැති අඩුව මට හෙට ඉදලා ආයෙත් දැනේවි.(ඔන්න කුඩම්මේ හෙට ඉදලා පොඩි පුතා ඔයාට බාරයි)
ඒත් මගේ අක්කේ ඔයාට සුභ විවාහ දිවියකට මම මුළු හදින්ම සුභ පතනවා!!!!!!
සත්‍ය සිද්ධියක් ඇසුරිනි ..ඔයාට මොනවම හරි හිතට දැනුන නම් ලියල යන්න අමතක කරන්න එපා..ඒ කමෙන්ට්ස් අපිට වටිනවා ....

Wednesday, February 1, 2012

සාජහාන් ඇත්තටම මුම්ටාස් ට ආදරේ කලාද??



ඔන්න ළමයිනේ අපි මාතෘකාව වෙනස් කරන්න යන්නේ.
පෙබරවාරි මාසෙත් එක්කම වැඩිපුරම කතා වෙන්නේ ආදරවන්තයන්ගේ දිනය ගැනනේ.ඒ එක්කම වගේ ඔළුවට එන තව දෙයක් තමයි ටජ් මහළ.
අපි හැමෝම වගේ දන්නවා පිවිතුරු පවිත්‍ර ආදරයේ සදාතන සිහිවටනය ටජ් මහල් කියලා.එහෙම නේද?
එහෙනම් මෙන්න මේ ටිකත් කියවලා බලන්න.
මුම්ටාස් කියන්නේ සාජහාන් ගේ 4වෙනි බිරිඳ. සාජහාන්ට ඔක්කෝම බිරින්දෑවරුන් 7ක් ඉදියාලු....(මරු )
සාජහාන්, මුම්ටස්ව බැන්දේ මුම්ටස්ගේ ඉදපු ස්වාමිපුරුෂයා මරලා.... (මරේ මරු )
මුම්ටස් මැරුණේ ඇයගේ 14වෙනි දරුවා බිහි කරන්න ගිහින්.... (පට්ට )
මුම්ටස් මැරුණට පස්සේ සාජහාන් මුම්ටස් ගේ නංගිව කසාද බැදලා (පට්ට පට පට )
යකෝ බං අනේ ළමයිනේ සාජහාන් ඔච්චරම මුම්ටාස් ට ආදරේ නම් මුම්ටාස් මැරුණට පස්සේ තව කසාඳ 3ක් කර ගනීවිද?
මුම්ටස් ට ඔච්චරම ආදරේ කලානම්, මුම්ටාස්ගේ ඉදපු ස්වාමියා මරලා බලෙන් අයිති කර ගනිවිද?
මුම්ටස්ට ඔච්චරම ආදරේ නම් ළමයි 14ක් හදවයිද?
ඒ ඔක්කොමත් හරි කියමුකෝ මුම්ටස් මැරුණම මුම්ටස්ගේම න0ගිව බදීවිද මුම්ටස් ට ඔච්චර ආදරෙයි නම්?
මෙහෙම බැලුවම හත් දෙයියනේ මෙතන පිවිතුරු පවිත්‍ර ආදරයක් තිබිලද?කවුරුහරි මේක පැහැදිලි කරලා දෙනවද?

ළමයිනේ ඇයි පෙබරවාරි මාසෙට විතරක් දවස් 28ක් ???


අපිට නැතුවම බැරි කැලැන්ඩරේ ගැන දැකගනිමුද ??

ළමයිනේ ඔයාලා දන්නවද ඇයි පෙබරවාරි මාසෙට විතරක් දවස් 28ක් තියෙන්නේ කියලා???

මේක ටිකක් සුරංගනා කතාවක් වගේ. ඒත් කියවලාම බලන්නකෝ ළමයිනේ

•මේක නම් ඉතින් කෙටියෙන්ම කිව්වොත් රෝමයේ වැරැද්දක්.මොකද අපේ වර්තමාන දින දර්ශනය පැරණි රෝම දින දර්ශනයෙන් ආභාෂය ලැබූවක්.

•ලොව පැරණිම දින දර්ශණය බැබිලෝනියවරුන් හදා ගත්ත එකක්.. ඒ වුනාට දැන් අපි පාවිච්චිකරන‍්නේ‍ ක්‍රී.පු. 45 දි සැදු ජනවාරියෙන් පටන් ගන්නා රෝම මාස ක්‍රමයයි

•පැරණි රෝම දින දර්ශනයට අනුව ඒකේ තිබුනේ මාස 10යි.ඒ මාර්තු මාසයේ ඉදලා දෙසැම්බර් මාසය වෙනකන්. දෙවන රෝම රජු Numa Pompiliusට උවමනා උනා වඩාත්ම නිවැරදි දින දර්ශනයක් නිර්මානය කරන්න. ඒ අනුව අළුත් දින දර්ශනයට තවත් මාස 2ක් එකතු උනා ඒ ජනවාරි මාසය හා පෙබරවාරි මාසය.

•මේ දින දර්ශනයට අනිව පෙබරවාරි මාසයට දවස් 30ක් තිබුනාලු.ඒ කාලේ ජූලි මාසයට සහ අගෝස්තු මාසයට තිබුනේ දින 30යි ලු.

•අපි ගොඩක් දෙනා දන්නවා අවුරුද්දේ මාස වලට නම් ලැබුන හැටි.තවමත් නොදන්න කෙනෙක් ඉන්නවානම් මෙන්න ඒකත් තියනවා....

මේවායින් සමහරක් රෝම අධිරාජ්‍යවාදීන්ගේ නම් වලින් හා රෝම දෙවි වරුන්ගෙන් නම් වලින් හැදුන ඒවා......

මෙන්න මෙහෙමයි ළමයිනේ මාස 12ට නම් හැදුනේ..

◄ජනවාරි මාසය►

රෝමයේ ගෞරවයෙන් සලකන “ජානුස්” දෙවියන් සිහිකිරිමට යොදා ඇත.රෝම විශ්වාසය අනුව මෙම දෙවියන්‍ට මුහුණු 02 ඇති බවත් වසරේ මුල්ම මාසයේ මේ මුහුණු දෙකෙන් අතිතය හාඅනාගතය බලන බව පැවසේ

◄පෙබරවාරි මාසය►

රෝමන්වරු වනයටඅයිති “පවනුස්” නම් දෙවියන් සිහිකිරිමට යොදා ඇත.ඒ වගේම "පෙබ්රු" හෙවත් පවිත්‍රත්වගේ උත්සවය සිහිපත් වෙන්න යෙදූවක්. මෙම උත්සවය සාමාන්‍යයෙන් පවත්වලා තියෙන්නේ පෙබරවාරි 15 වෙනිදාලු..

◄මාර්තු මාසය►

“මාර්ස්” හෙවත් කුජ ග්‍රහයාට සැලකු රෝම වරුන් ඔහු අස්වැන්න ලබා දෙන හා යුද්ධයට අධිපති දෙවියන් ලෙසද සැලකු අතර එම නිසා මෙම මාසය “ මාර්ච් “ උනාලු.

◄අප්‍රේල් මාසය►

මේ මාසයට නම් මත 03 ක් තියෙනවා...
01 නම් “ඇපරේස්” නම් දෙවියා වෙනුවෙන් ඒප්‍රිල් යන බවයි!
02..මල් පිපෙන යන රෝම වචනයෙන් “ අප්රිපේ “ යන්නෙන්....
03.. “ ඇප්‍රිලීස්” නොහොත් “ ඇප්‍රියිඩියියෙට්( Aphrodite)” යන ආදරය හා ලස්සනට අධිපති ග්‍රීක දේවතාවිය නමින් මේ මාසය අප්‍රියෙල් උනාලු.

◄මැයි මාසය►

මේ සඳහාද ‍මත 02 ක් තියෙනවා..
එනම් “මෙයි”( Maia)දේවතාවිය හෙවත් සිසිර සෘතුවට අධිපති දේවතාවිය වෙනුවෙන් මෙය නම් කල බවයි!
අනිත් මතය වන්නේ රෝමයේ වැඩිහිටියන් හදුන්වන “මාජෝරස් “ යන්නෙන් මෙය “ මේ” වු බවයි!
ඒ නිසා මැයි මාසය වැඩිහිටියන්ගේ මාසය උනාලු.

◄ජුනි මාසය►

“ජුනියෝරෙස්” යනු රෝම තරුණයින් හැදින් වු නමයි....
තරුණයන්ගේ මාසය ලෙස මෙය ජුනි ලෙස නම් කර ඇතැයි අදහස් වේ.
අනික නම නම් “ජුනෝ” නැමති රෝම දේවතාවිය වෙත උපහාර ලෙස මෙම මාසය නම් කරා ලු.

◄ජුලි මාසය►

“ක්වින්ටිලීස්” ලෙස පෙර නම් වු මෙම මාසය පසුව ජුලියස් සීසර් විසින් තමාගේ නම සිහිවීම පිණිස "ජුලයි” ලෙස නම් කරා ලු.

◄අගෝස්තු මාසය►

ජුලියස් සීසර් පසු රාජ්‍ය පාලනය කල “ඔගස්ටස් සීසර්”වෙනුවෙන් ඔහු විසින් මෙම මාසය නම් කල අතර පසු කාලයේ මෙය “ ඕගස්ට්” උනාලු.

◄සැප්තැම්බර් මාසය►

හත්වැන්නයන තේරුමින් මෙය නම් කර ඇත්තේ පැරණි රෝමානු කැලන්ඩරයේ මාස පටන් ගෙන තිබුනේ මාර්තු මාසයේ සිට වීමත් මාස 10පමණක් වීමත් නිසා මේ මාසය "සෙප්ටිමස්"ලෙසනම් කල අතර කාලයත් සමඟ සෙප්ටෙම්බර් උනාලු..

◄ඔක්තෝම්බර් මාසය►

“ඔක්ටෝ” හෙවත් අට වැන්න යන රෝම තේරුමින් ඔක්තෝම්බර් මාසය සැදී ඇත.

◄නොවැම්බර් මාසය►

“නොවෙම්” යන ලතින් වචනයෙන් නොවෙම්බර් යන්න ලැබි ඇත.
ශීත උදාව සිදුවන නිසා නොවෙබර් වු බවටද මතයක් තියනවා.

◄දෙසැම්බර් මාසය►

10 මාසය යන රෝම භාෂාවෙන් "ඩිසෙම්" ලෙස නම් වී පසුව ඩිසෙම්බර් උනාලු.

•ඒ ආකාරයට බැලුවහම ජූලි මාසයට ඒ නම ලැබුනේ Julius Caesar ට කරන ගෞරවයක් විදිහට.අගේස්තු මාසයට ඒ නම ලැබුනේ Augustus Caesarට කරන ගෞරවයක් විදිහට.රෝම ජාතිකයන් මේ දෙදෙනාට ඉමහත් භක්තියෙන් සලකන නිසා මේ දෙදෙනාට කරන ගෞරවයක් විදිහට මේ මාස 2ට පෙබරවාරි මාසයෙන් දවස් 2ක් අරගෙන පිළිවෙලින් ජූනි මාසයට හා අගෝස්තු මාසයට දුන්නාලු.

•ඊලගට ඔයාලට ප්‍රශ්ණයක් එනවා ඇයි පෙබරවාරි වලින්ම දවස් 2ක් ගත්තේ කියලා.ඔව් නේද? මේ වෙනකනුත් ඒ පිළිබදව විවිධ මත තිබුනත් දැනට බොහෝ දෙනා පිළිගන්න මතය මේ රෝම වරු හදපු අළුත් දින දර්ශනයට අනුව පෙබරවාරි මාසය ඔවුන්ගේ දින දර්ශනයේ අවසාන මාසය උන නිසා ඒ මාසයෙන් දවස් 2ක් ගත්තා කියලා උපකල්පනය කරනවා.

මේ ප්‍රශ්නයට මීට වඩා හොඳ උත්තරයක් දන්න කෙනෙක් ඉන්නවානම් අපිටත් දැන ගන්නත් එක්ක කරමු බලන්න ළමයිනේ.
.